පසුවදන

මුල්ලේරියා සටනේදී රණ හරඹ පෑ වීර පරපු‍ර සිහිපත් කරමින්, එදා සීතාවක පළමුවැනි රාජසිංහ රජතුමා සිය රන් කඩුව පුදා ඔප්පු කළ යුද පොරොන්දුව වසර සිය ගණනක් සුරැකිව ආරක්ෂා කළ අංගං පරපුරේ 449 වැනි සැමරුම අති උත්කර්ෂවත් අන්දමින් මුල්ලේරියා රණ බිම විජයග්‍රහණය කළ කඩුවෙල, රන්කඩු පත්තිනි දේවාල භමියේදී පසුගිය අගෝස්තු මස 23 වැනිදා පැවැත්වූයේ රන්කඩු පූජා මහෝත්සවයක් ලෙසිනි.

1818 ඌව වෙල්ලස්ස කැරැල්ලෙන් පසු අංගං ශාස්ත්‍රය තහනමට ලක්වීමත් සමඟ අංගං ශිල්පීහු කිහිප දෙනෙක් සිරභාරයට ගැණුනහ. මේ තත්ත්වය මත අංගං ශිල්පීහු රහසිගතව විසීමට කටයුතු කළහ. මේ හේතුවෙන් රන්කඩු ජූජාවද ක්‍රමයෙන් වියැකිණි. නමුත් සිංහලේ සටන් ශාස්ත්‍රය එසේ වැළලී යාමට ඉඩ නොදීමට අදිටන් කරගත් කොරතොට ආරච්චි පරම්පරාවෙන් පැවතෙන මහන්තාරච්චිගේ අජන්ත පෙරේරා රන්කඩු ජූජාව නැවත මෙරට අනාගත පරපුරට දායාද කිරීමට කටයුතු කර තිබුණි. එහිදී පළමුවැනි රජාසිංහ රජතුමා පූජා කළ රන්කඩුවට සමාන රන් ආලේපිත කඩුවක් රන්කඩු පත්තිනි දේවාලයට පූජාකරමින් මෙම පූජාකර්මය ආරම්භ කෙරිණි. එසේම මෙම සටනේදී දිවිපිදූ රණ ශූරයන් අලි ඇතුන් ආදී සැමට පිං පැමිණවීමේ විශේෂ පුණ්‍යමහෝත්සවයක් ද ගුරුතර මහා සංඝරත්නයේ වැඩම කිරීමෙන් පැවැත්විණි.

එදින උත්සවය ආරම්භ වූයේ සීතාවක රජාසිංහ රජු භාවිත කළ කොඩි තුවක්කුවෙන් වෙඩිමුර තුනක් පත්තු කිරීමෙනි. මෙම කොටිතුවක්කුව මැදගොඩ පත්තිනි දේවාලය භාරයේ පවතින අතර එය පළමුවැනි රාජසිංහ රජතුමා විසින්ම එම දේවාලයට පූජාකරන ලද බවද කියැවෙයි. මේ අතර එදා මුල්ලේරියා සටනට සහභාගී වූ රණ ශූරයන් වෙත රජතුමා විසින් හේවාගම් කෝරළය යනුවෙන් නම් කර ලබාදුන් ප්‍රදේශ අදද හැඳින ගත හැකි අතර එම ප්‍රදේශ වල ජනතාව එදා සීතාවක රජතුමාගේ රණශූරත්වය සිහිපත් කිරීම සඳහා කඩුව සහ පළිහ යොදා ගනිමින් විශේෂ නර්තන සම්ප්‍රදායයන් පවා ඇති කළේ ය. මෙසේ වැළලී යමින් තිබූ අපේ ඉපැරණි රණ නර්තන සම්ප්‍රදාය යළි ඉස්මතු කරමින් මෙදා කඩුවෙල රන්කඩු පත්තිනි දේවාලයේදී 'කඩු පළිහ වාහල නැටුම' රඟ දැක්වීමට අජන්ත කටයුතු යොදා තිබුණි.

මෙම අවස්ථාවට ගරු අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මැතිතුමා, ජනාධිපති අධ්‍යක්ෂ ජනරාල් භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මැතිතුමා, යෝෂිත රාජපක්ෂ මැතිතුමා, බුද්ධදාස විතානාරච්චි මැතිතුමා, ජයන්ත චන්ද්‍රසිරි මැතිතුමා ආදී සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වූහ. එමෙන්ම දේශීය සම්ප්‍රදායයට ගරැ කරන කලා ශිල්පීන් ඇතුළු විශාල පිරිසක්ද මෙම අසිරිමත් ජූජා කර්මය දැක බලා ගැනීමට පැමිණ සිටියහ. එහිදී අජන්ත යටතේ සටන් කලාව ප්‍රගුණ කරන ඇ‍ඟේ මැඩිල්ල රණපිල කලායතනයේ සටන් ශිල්පීන්ගේ දක්ෂතාවන් උත්සවය වර්ණවත් කළේ ය. මීට පෙර අජන්ත පෙරේරා විසින් ඌරා ළි‍ඳේ අංගං කෙටීමකට ප්‍රසිද්ධ අභියෝගයක් මාධ්‍ය මගින් සිදුකරනු ලැබුවේ අපටම අනන්‍යවූ, අමිශ්‍ර අංගං ශාස්ත්‍රයේ රොඩු බොරළු ඉවත් කර එය අනාගත පරපුර වෙත දායාද කිරීම සඳහා ය. නමුත් ඔහුගේ අභියෝගය වෙනුවෙන් කිසිවෙකු ඉදිරිපත් නොවීමෙන් මේ රටේ අනෙකුත් ශිල්පීන් අංගං ශාස්ත්‍රයේ නියම රණ ශූරයන් නොවේදැයි ප්‍රශ්නාර්ථයක් මතු වූ බව අජන්ත කියයි. ඔහු විශ්වාස කරන්නේ නියම අංගං ශිල්පියෙකු තවෙකෙකුට බිය වී සටන් මග නොහරින බවයි. කෙසේ වෙතත් මෙම කර්තව්‍ය විහිළුවට සහ දෝෂ දර්ශනයට ලක් කළ පිරිසට වඩා ගිහි පැවිදි බොහෝ නෙදෙකු තමන් වෙත පෞද්ගලිකව කතා කර ඊට ආශිර්වාද කළ බව අජන්ත සිහිපත් කරයි.