කඩු දෙවොල

1562 දී මුල්ලේරියා යුද ජයග්‍රහණය අවසන සීතාවක රාජසිංහ රජු තම රන් අසිපත පුදා කඩුවෙල රන්කඩු පත්තිනි දෙවොල තනවා ඇත. මුල්ලේරියා සටන ජයග්‍රහණයට සවිශේෂී දායකත්වයක් ලබා දුන් කොරතොට ආරච්චි අංගං පරපුරට මෙම දෙවොල ආරක්ෂා කිරීම පැවැරුණු අතර ඔවුන් විසින් මුල්ලේරියා යුද ජයග්‍රහණය සැමරීම වාර්ෂිකව කරගෙන එයි. මෙවර යෙදෙන්නේ මුල්ලේරියා යුද ජයග්‍රහණයේ 449 වැනි සැමරුමයි.
සීතාවක රජවාසලේ විශ්වාසවන්තම බලකොටුව බවට පත්වූයේ කඩුවෙල බලකොටුවයි. කොළඹ කොටුවේ සිට එන ඕනෑම සතුරු උපද්‍රවයක් කඩුවෙලින් මෙපිටට නොගියේ ය. එහි සිටි වීර අංගක්කරුවන් සහ එහි පිහිටීම නිසා කඩුවෙල බලකොටුව සුවිශේෂ විය. එය එක්වරම භූමියෙන් උස්ව පිහිටි කඳු ගැටයක් වූ අතර ප්‍රධාන මාර්ගයෙන් හා කැළණි ගඟින් ආවරණය වී පැවතිණි. රාජසිංහ රජුගේ නියමයෙන් මෙම කඩුවෙල කඩවත් බලකොටුව භාරව සිටියේ "කොරතොට ආරච්චි" නම් වූ අංගං සටන් පරපුරේ වීර සටන් ශිල්පියෙකු වූ කොරතොට කුරුප්පු ආරච්චි විය. කුරුප්පු ආරච්චිගේ සටන් වික්‍රමයන් මුළු රටම දැනහැඳින සිටිය හ. මේ හේතු කාරණා නිසාම පණට ආදරයක් ඇත්තකේ කඩුවෙල බලකොටුව බිඳීමට උත්සාහ ගත්තේ නැත.


කොරතොට අංගක්කරුවන්ගේ සහය ඇති පුහුණු කළ අංගංකරුවන් විශාල පිරිසක් කඩුවෙල බලකොටුවට රැස්වූ අතර සියලු අවි ආයුධ ද කඩුවෙල බලකොටුවේ තැන්පත් කෙරිණි. එහිදී කඩුහරඹ කළ ස්ථානය අද ද කඩුගං මැඩිල්ල ලෙස හඳුන්වයි. මේ අනුව මුල්ලේරියා යුද්ධයේ නිල ආයුධ ගබඩාව කඩුවෙල බලකොටුව බවට පත් විය රාජසිංහ රජු සිය යුද කස්තානය තැන්පත් කරන්නට බෙනයක් ඇසුරින් සකසා ගත් පැරණි මසන් ගස අද ද එහි නිරුපද්‍රිතව ඇත. නුවර යුගයේ ලියැවූ "නම් පොත" ලෙස හඳුන්වය ග්‍රන්ථයේ ද මෙම ස්ථානය "කඩු දෙවොල" ලෙස හැඳින්වේ.